Home / දේශීය පුවත් වැඩිදුර නරබන්න මෙතැන click කරන්න / අරක්කු නැති, කසිප්පු හිඟ, රතිඤ්ඤා අඩු, මෙවර සිංහල අවුරුද්දට ජය වේවා !

අරක්කු නැති, කසිප්පු හිඟ, රතිඤ්ඤා අඩු, මෙවර සිංහල අවුරුද්දට ජය වේවා !

මීට අවුරුදු හැත්තෑ පහකට පෙර පැවති සිංහල අවුරුද්දේ සුළුතර පිටපතක් ලෙස මෙවර පැවති සිංහල අවුරුද්ද දැක්විය හැකිය. අරක්කුත් නැති, කසිප්පුත් හිඟ, රතිඤ්ඤාත් අඩු, මෙවර සිංහල අවුරුද්ද ඒ තත්ත්වයෙන් පවත්වාගෙන යන ලද්දේ කොවිඞ් 19 වෛරසය විසිනි. ඒ අනුව ශ‍්‍රී ලංකාව බොහෝ කලකට පසු සාමකාමී සිංහල අවුරුද්දක් අත් දුටුවේය. වෙන සිංහල අවුරුදුවල අවුරුදු දවසේ ? වනවිට මත්පැන් බී ගුටි කෙලගත්, කඩුවලින් කපා කොටාගත්, රිය අනතුරු කරගත් හත් අට සියයක් ඉස්පිරිතාලවලට  ගෙනෙනු ලැබේ. මෙහි අග‍්‍ර ඵලය වශයෙන් මළ මිනී පහළොවක් පමණ මෝචරියට ද යැවේ. ලංකාවේ සිටින බේබදු ජනයා මෝඩම මෝඩ හැතිකරයකි. ඔවුන්ගේ මෝඩකම කොපමණද යත් ඔවුහු වෙරි වූ පසු රතිඤ්ඤා පත්තුකර සාක්කුවේ දමාගෙන, ගිනි පෙට්ටිය වීසි කර දමති. එහෙත් මෙදා සිංහල අවුරුද්දේදී එබඳු අවාසනාවන්ත දේ සිදු වුනේම නැත. මිනිස්සු හැකිතාක් දුරට ගෙවල්වලට වී, හැකි පමණින් අවුරුදු සිරිත් විරිත්කර සිදුකර ණය නොවී අවුරුද්ද ගෙවූහ. ඔවුන් කළ එකම වරද වූයේ කලින් දවසේ ඇඳිරිනීතිය අස්සේ ඞී.අයි.ජී. අජිත් රෝහණට හොරෙන් කැවිලි ගේන්නට යාම පමණි. අපුල දෙයක් සිදුවුණා නම් ඒ වූ කලී වෙනදා ගම වටේ යන මාළුකාරයාට අමතරව කුකුල් මස්, කුකුල් මස් යැයි කෑ ගසමින් ගම වටේ දිවෙන කුකුල් මස් රථද, ඌරු මස්, ඌරු මස් යැයි කියමින් ගම වටේ දිවෙන රථද පහළවී තිබීමය.

මෙවර සිංහල අවුරුද්දේ ශේෂ පත‍්‍රය ගෙන බලමු. අපේ වැටහීමට අනුව කොරෝනා නොතිබෙන්නට මෙවර සිංහල අවුරුද්ද හුඟක් හොඳය. එසේම කොරෝනාව නොතිබුනා නම් මෙවර සිංහල අවුරුද්ද වෙනදා තරමටම නරකය. මෙවර මේ රටේ ජනයා අවුරුද්ද නිමිත්තෙන් හොඳට හැසිරුනේ ඒ පිලිබඳ යථා අවබෝධයෙන් නොව කොරෝනාව කෙරෙහි හටගත් මර බිය සහ ඇඳිරි නීතිය නිසාය. මෙරට ඉතිහාසයේ සිංහල අවුරුද්දට ඇඳිරිනීතිය පනවන ලද, මීට පෙර එකම අවස්ථාව 1971 අපේ‍්‍රල් කැරළි සමයය. ඒ සිංහල අවුරුද්දේදී ජ.වි.පෙ.ත් යුධ හමුදාවත් එක පොදියට ගැටුණු බැවින් මිනිස්සු භීතියටත් සංත‍්‍රාසයටත් පත්ව ඇඳිරිනීතිය භුක්ති වින්දාහ. රටේ ජනතාවගෙන් සියයට අනූවක් පමණ ඇඳිරිනීතිය කුමක්ද යන්න දැනගත්තේත් ඇඳිරිනීතිය යන වචනය ජන සමාජයට ඇතුල් වුනේත් 1971 සිංහල අවුරුදු දවස්වලය. කෙසේ වුවද කොරෝනා නැති, ඇඳිරිනීතිය නැති, ලබන සිංහල අවුරුද්දටත් මේ රටේ ජනයා මෙසේම විනීත වේවා යන්න අපගේ සිංහල අවුරුදු ප‍්‍රාර්ථනයය……… (සභාවේ සිනා)

About EtheraTV2018

Check Also

කොරෝනා වෛරසයට එන්නතක් නිපදවීමට සමාගම් 35 ක් පෙරමුණේ

කොරෝනා වෛරසය සඳහා එන්නතක් සොයා ගැනීමට ලෝකයේ සමාගම් 35ක් පර්යේෂණවල නිරතව සිටී. මෙම එන්නත නිපදවීම …

ගෙයින් ගෙට ගොස් වෛරසය පතුරුවන තබ්ලික් ජමාත් – ආරක්ෂක අංශ, රජය නොදන්නා තිත්ත ඇත්ත.

බණ්ඩාරගම අටළුගම ප්‍රදේශයේ කොරෝනා ආසාධිතයකු හමුවීමත් සමගම එම පුද්ගලයා ප්‍රදේශයේ නිවාස රැසකට ගොස් තිබූ බැවින් …