Home / ETHERA TV PROGRAMMES / කොරෝනා වෛරසය: ඇමරිකාව ලෝක සෞඛ්‍ය සංවිධානයට අරමුදල් නොදීම “අනතුරුදායකයි”

කොරෝනා වෛරසය: ඇමරිකාව ලෝක සෞඛ්‍ය සංවිධානයට අරමුදල් නොදීම “අනතුරුදායකයි”

කොරෝනා වෛරසය: ඇමරිකාව ලෝක සෞඛ්‍ය සංවිධානයට අරමුදල් නොදීම “අනතුරුදායකයි” ..

President Donald Trump speaks during the daily briefing of the White House Coronavirus Task Force in the Rose Garden at the White House April 14, 2020                            ජනාධිපති ට්‍රම්ප් පවසන්නේ ලෝක සෞඛ්‍යය සංවිධානය චීනයට පක්ෂපාතීව කටයුතු කරන බවය

ඇමෙරිකා එක්සත් ජනපදය විසින් ලෝක සෞඛ්‍ය සංවිධානයට ප්‍රදානය කරනු ලබන මූල්‍ය ප්‍රතිපාදන අත්හිටුවන බව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශයට පත් කළේය.

ජනාධිපතිවරයාගේ එම ප්‍රකාශය මේ වන විට විශාල වශයෙන් හෙළා දැකීමකට ලක්වෙමින් පවතී.

‘මයික්‍රොසොෆ්ට්’ (Microsoft) නිර්මාතෘ බිල් ගේට්ස් ( Bill Gates) විසින් ඇමෙරිකානු ජනාධිපතිවරයාගේ තීරණය විග්‍රහ කරන ලද්දේ “අනතුරුදායක පණිවුඩයක්” වශයෙනි.

එක්සත් ජාතීන්ගේ මහ ලේකම් අන්තෝනියෝ ගුටරෙස් (António Guterres) විසින් ද ඇමෙරිකානු ජනාධිපතිවරයාගේ ප්‍රකාශය දෝෂ දර්ශනයට ලක් කරමින්, “ලෝක සෞඛ්‍ය සංවිධානයේ සම්පත් මූලයන් කපා හැරීමට මෙය කාලය නොවන” බව පෙන්වා දුන්නේය.

ඇමෙරිකානු අරමුදල් නතර කරන බව ප්‍රකාශයට පත් කරමින් ජනාධිපති ට්‍රම්ප් කියා සිටියේ “ලෝක සෞඛ්‍ය සංවිධානය පවතින කොරෝනාවෛරස් වසංගතය හමුවෙහි ඔවුන්ගේ වගකීම් ඉටු කිරීමට අසමත් වූ” බවය.

චීනයෙන් ආරම්භ වී පැතිර යමින් පවතින කොවිඩ්-19 වෛරසය පිළිබඳ කරුණු වසං කළ බවට සහ නොමග යැවීම් සිදු කළ බවට ඇමෙරිකානු නායකයා ලෝක සෞඛ්‍ය සංවිධානයට චෝදනා කරයි.

එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයාගේ අදහස් දැක්වීම සිදු කෙරුණේ ඊට ප්‍රතිචාරයක් වශයෙනි.

World Health Organization (WHO) Health Emergencies Programme Director Michael Ryan, WHO Director-General Tedros Adhanom Ghebreyesus and WHO Technical Lead Maria Van Kerkhove attend a daily press briefing on COVID-19, the disease caused by the novel coronavirus, at the WHO heardquaters in Geneva on March 11, 2020                          කොරෝනාවෛරසය මැඩපැවැත්වීම සම්බන්ධයෙන් චීනය ගත් ක්‍රියාමාර්ග ලෝක සෞඛ්‍ය සංවිධානයේ පැසසුමට ලක් විය

සිය රට තුළ කොරෝනාවෛරසය පැතිර යාම වළක්වාලීමට ක්‍රියාකරන ආකාරය සම්බන්ධයෙන් ජනාධිපති ට්‍රම්ප් ඇමෙරිකානු සමාජය තුළ දැඩි අපවාදයකට මුහුණ දී සිටියි.

ඔහුට එරෙහි ප්‍රධාන චෝදනාව වන්නේ වෛරසයේ ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා “නිසි මොහොතේ කඩිනම් තීරණ සහ ක්‍රියාමාර්ග නොගැනීමය”.

චීනය සමඟ සිදු කෙරෙන සංචාර නතර කිරීම සඳහා ජනවාරි අග භාගයේ දී තීරණය කරනු නොලැබීම ජනාධිපති ට්‍රම්ප්ට එරෙහිව එල්ල කෙරෙන එක් විවේචනයක් වන අතර, ලෝක සෞඛ්‍ය සංවිධානයට චෝදනා කරමින් එම චෝදනාවෙන් පළා යාමට ඔහු උත්සාහ කරයි.

ජනාධිපති ට්‍රම්ප් පවසන්නේ ලෝක සෞඛ්‍ය සංවිධානය චීනයට පක්ෂපාතීව කටයුතු කරන බවය.

“කොරෝනාවෛරසය පැතිරීම වසං කරනු ලැබීම සහ බරපතල මට්ටමේ දුර්කලමනාකරණයට අදාළව ලෝක සෞඛ්‍ය සංවිධානයේ භූමිකාව තක්සේරු කෙරෙන අධීක්ෂණයක් සඳහා පියවර ගනු ලබන අතරවාරයේ, ඊට අරමුදල් සැපයීම අත්හිටුවන ලෙස මම, මගේ පරිපාලනයට නියෝග කරනවා” යනුවෙන් ජනාධිපති ට්‍රම්ප් කියා සිටියේය.

ලෝක සෞඛ්‍ය සංවිධානයට වැඩිම අරමුදලක් සම්පාදනය කරන රට ඇමෙරිකා එක්සත් ජනපදයයි.

වොෂිංටන් පාලනය 2109 වසරේ දී ලෝක සෞඛ්‍ය සංවිධානයට ඇමෙරිකානු ඩොලර් මිලියන හාරසීයකින් දායක වී ඇත.

ඉදිරි කාලයෙහි එම අරමුදල් සැපයුම යළි ආරම්භ කළ යුතුද? නැද්ද? යන්න අධීක්ෂණයකින් අනතුරුව තීන්දු කෙරෙන අතර, එම අධීක්ෂණය දින 60- 90 ත් අතර කාලයක් තුළ සිදු කෙරෙනු ඇතැයි ජනාධිපති ට්‍රම්ප් සඳහන් කළේය.

එම ඇමෙරිකානු ක්‍රියාමාර්ගය සම්බන්ධයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානය තවමත් ප්‍රතිචාරය පළ කර නැත.

එහෙත්, එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයා ප්‍රකාශයක් කරමින් “කොවිඩ්-19 මැඩලීමට ජාත්‍යන්තර ප්‍රජාව එකමුතුව කටයුතු කළ යුතුව ඇතැයි” කියා සිටියේය.

“මගේ විශ්වාසය ලෝක සෞඛ්‍ය සංවිධානයට ලෝකයේ සහයෝගය ලැබිය යුතු බවයි. මෙය කොවිඩ්-19 සතුරාට එරෙහිව කරන යුද්ධය ජය ගැනීමට ලෝකය ප්‍රයත්න දරන ඉතාම තීරණාත්මක මොහොතක්” යනුවෙන් මහලේකම්වරයා පෙන්වා දෙයි.

“අද දවසේ හොඳම ආයෝජනවලින් එකක් වන්නේ අරමුදල් හිඟයක් පවතින ලෝක සෞඛ්‍ය සංවිධානයයි” යනුවෙන් ජර්මන් විදේශ ඇමතිවරයා විසින් නිකුත් කරන ලද ‘ට්විටර්’ පනිවුඩයක සඳහන් වෙයි.

ට්‍රම්ප්ගේ චෝදනාව කුමක්ද ?

“කොවිඩ්-19 වසංගතය ආරම්භ වීමත් සමඟ ඇමෙරිකානු ත්‍යාගශීලීත්වය හැකි තරම් උපරිම මට්ටමින් ප්‍රයෝජනයට ගනු ලබන්නේද? නැද්ද? යන ගැඹුරු මැසිවිල්ල අපට තිබුණා” යනුවෙන් ජනාධිපති ට්‍රම්ප් පවසයි.

ලෝක මට්ටමින් ගත්විට මේ වනවිට වැඩිම කොරෝනාවෛරස් ආසාදිතයන් වාර්තා වන්නේ ඇමෙරිකා එක්සත් ජනපදයෙනි.

හය ලක්ෂයකට අධික ආසාදිතයන් ද, විසිහය දහසකට අධික මරණ සංඛ්‍යාවක් ද ඇමෙරිකාවෙන් වාර්තා වී ඇත.

චීනයේ වූහාන් (Wuhan) නගරයෙන් වෛරසය පළමුව පැතිරීම ආරම්භ වූ වහාම ඒ සම්බන්ධයෙන් අවශ්‍ය පියවර ගැනීමට ලෝක සෞඛ්‍ය සංවිධානය අපොහොසත් වූ බවට ජනාධිපති ට්‍රම්ප් චෝදනා කරයි.

මාධ්‍යවේදීන් හමුවේ අදහස් දැක්වූ ඇමෙරිකානු ජනාධිපතිවරයා මෙසේ සඳහන් කළේය.

“එහි පැවති තත්ත්වය බිම් මට්ටමින් විෂයාත්මකව තක්සේරු කිරීම සඳහා ,ඒවගේම චීනය විනිවිදභාවයෙන් තොරව කටයුතු කරන බව හෙළිදරව් කිරීම සඳහා, ලෝක සෞඛ්‍ය සංවිධානය වෛද්‍ය විශේෂඥයන් චීනයට යවමින් ඔවුන්ගේ කාර්යභාරය ඉටු කළා නම් අඩු මරණ සංඛ්‍යාවකින් මේ වසංගතය පැතිරයාම පාලනය කරගන්න තිබුණා”

“එවැනි පියවරක් ගත්තානම්, දහස් ගණනක් ජීවිත බේරාගන්න තිබුනා. ඒ වගේම ලෝක මට්ටමේ ආර්ථික හානියක් වළක්වා ගන්න තිබුණා” යනුවෙන් ඇමෙරිකානු ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

“ඒ වෙනුවට ලෝක සෞඛ්‍ය සංවිධානය චීනයේ ව්‍යාජ සහතිකවීම් හිතාමතාම භාර ගත්තා වගේම චීන ආණ්ඩුවේ ක්‍රියාමාර්ග ආරක්ෂා කළා”

කෙසේ වුවද,ට්‍රම්ගේ තීරණයට එරෙහිව අදහස් පළ කරන ජාත්‍යන්තර නායකයන් සහ ආයතන පවසන්නේ කොරෝනාවෛරසය නිසා ලෝකය දුෂ්කර අඩියකට වැටී ඇති මොහොතක ඇමෙරිකානු ජනාධිපතිවරයා විසින් ගන්නා ලද තීරණය කාලෝචිත නොවන බවය.

චීනයට එරෙහි චෝදනා

ලී වැන්ලියැං                       ලී වෙන්ලියැං නමැති වෛද්‍යවරයාට වෛරසය ආසාදනය වී ඇත්තේ, වූහාන් මධ්‍යම රෝහලේ සේවය කරන අතරතුරය

වූහාන් නගරයෙන් කොරෝනාවෛරසය වාර්තා වූ අවස්ථාවේ චීන නිලධාරීන් විසින් එය රහසක් කරගෙන තිබුණි. එපමණක් නොව, වෛරසය සම්බන්ධයෙන් අනතුරු ඇඟවීමට උත්සාහ කළ පුද්ගලයන්ට දඬුවම් කරන ලදී.

මාරාන්තික කොරෝනාවෛරසය පිළිබඳ පළමු වරට අනතුරු ඇඟවීම් කළ චීන වෛද්‍යවරයා වෛරසය ආසාදනය වී ජීවිතක්ෂයට පත්වූ බව ඔහු ප්‍රතිකාර ලැබූ රෝහල විසින් පසුව නිවේදනය කළේය.

‘ලී වෙන්ලියැං’ නමැති එම වෛද්‍යවරයාට වෛරසය ආසාදනය වී ඇත්තේ, වූහාන් මධ්‍යම රෝහලේ සේවය කරන අතරතුරය.

ඔහු පසුගිය දෙසැම්බර් 30 වෙනිදා සිය වෛද්‍ය කාර්ය මණ්ඩලයේ සාමාජිකයින්ට අනතුරු ඇඟවීම යවා තිබුණ ද, “සාවද්‍ය ප්‍රකාශ නොකරන” ලෙස පොලිසිය ඔහුට පවසා තිබුණි.

එහෙත් ඉන් අනතුරුව අසීමිත පරිමාවකින් නිරෝධායන කලාප ප්‍රකාශයට පත්කිරීමක් ද ඇතුළුව දැඩි තහංචි පැනවීමට බේජිං පාලනය පියවර ගත්තේය.

එම ක්‍රියාමාර්ගයන් ලෝක සෞඛ්‍ය සංවිධානයේ සහ එහි අධ්‍යක්ෂ ජනරාල් වරයාගේ අසීමිත අගය කිරීමට ලක්විය.

ලෝක සෞඛ්‍යය සංවිධානයේ විශේෂඥයන්ට චීනයට ඇතුල්වීමට සහ වසංගතය පිළිබඳව විභාග කිරීමට අවසර ලැබුණේ පසුගිය පෙබරවාරි මස 10 වෙනිදාය.

ඒවනවිට චීනයේ කොරෝනා ආසාදිතයන් 40,000 කට අධික සංඛ්‍යාවක් විය.

ඒ කෙසේවුවද, චීනය කොවිඩ්-19 වසංගතය හමුවේ කටයුතු කරන අන්දම ජනාධිපති ට්‍රම්ප් විසින් පවා අගය කිරීමට ලක් කරන ලද බව ධවල මන්දිර වාර්තාකරුවෝ සිහිපත් කළහ.

එපමණක් නොව,ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් “මහජන සෞඛ්‍යය සම්බන්ධයෙන් ජාත්‍යන්තර මට්ටමේ හදිසි තත්ත්වයක් “ප්‍රකාශයට පත්කරනු ලබීමෙන් දිගු කාලයකට පසුවත්, සියරට තුළ කොරෝනාවෛරස් වසංගතය අවතක්සේරු කරනු ලැබීම පිළිබඳවත් මාධ්‍යවේදීහු කරුණු පෙන්වා දුන්හ.

ජනාධිපති ට්‍රම්ප් ලෝක සෞඛ්‍ය සංවිධානයට එරෙහිව පළ කරන අදහස් ඩිමොක්‍රටික් පක්ෂයේ විවේචනයට ලක්වෙයි.

මෙම මැතිවරණ වර්ෂයෙහි ජනාධිපතිවරයා තමාට එරෙහි විවේචන වෙනත් අතකට හැරවීමේ උත්සාහයක නිරත වෙන බවට ඩිමොක්‍රටික් පක්ෂය චෝදනා කරයි.

එහෙත් කොන්ග්‍රස් මණ්ඩලයේ රිපබ්ලිකන් පාක්ෂිකයන් බොහෝ දෙනෙක් ජනාධිපති ට්‍රම්ප්ගේ ක්‍රියාමාර්ගය අගය කිරීමට ලක් කළහ.

ලෝක සෞඛ්‍ය සංවිධානය චෝදනාවට ලක්වන්නේ ඇයි?

A building of the World Health Organization (WHO) in Geneva, Switzerland, February 6, 2020                            ලෝක සෞඛ්‍ය සංවිධානයට වැඩිම අරමුදලක් සම්පාදනය කරන රට ඇමෙරිකා එක්සත් ජනපදයයි

ලෝක සෞඛ්‍ය සංවිධානය සියුම් නිරීක්ෂණයට ලක් කෙරෙන පළමු අවස්ථාව මෙය නොවේ.

නව වෛරසය “මිනිසකුගෙන් තවත් මිනිසකුට බෝ නොවෙන බවට පැහැදිලි සාක්ෂි නොමැති බවක් චීනයේ මූලික පරීක්ෂණවලින් හෙළි වී ඇතැයි” පැවසෙන ‘ට්විටර්’ පණිවුඩයක් ජනවාරි මස දාහතර වෙනිදා ලෝක සෞඛ්‍යය සංවිධානය විසින් නිකුත් කරන ලදී.

ඊට පටහැනි සාක්ෂි නොතකා හරිමින් චීනය කෙරෙහි සරල මට්ටමින් විශ්වාසයක් තැබීම සම්බන්ධයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානය විවේචනයට ලක් කිරීමට ජනාධිපති ට්‍රම්ප් සහ වෙනත් පුද්ගලයන් එම ‘ට්විටර්’ පණිවුඩය පාවිච්චි කරති.

එහෙත් එම ‘ට්විටර්’ පණිවුඩය නිකුත් කර සතියකට පසුව, ජනවාරි මස 22 වෙනිදා ප්‍රසිද්ධ ප්‍රකාශයක් මගින් එම සංවිධානය කියා සිටියේ වුහාන් පළාතේ මිනිසකුගෙන් මිනිසකුට වෛරසය ආසාදනය වෙන බවක් දක්නට ලැබෙන බවය.

ජනවාරි 22 වෙනිදා මහජන සෞඛ්‍යය සම්බන්ධයෙන් හදිසි තත්වයක් ප්‍රකාශයට පත්කළ ලෝක සෞඛ්‍ය සංවිධානය එදිනම තවත් නිවේදනයක් මගින් කොවිඩ්-19 වෛරසය පාලනය පිණිස ගුවන් ගමන් තහංචියක්’ පැනවීමේ උවමනාවක් නොමැති බව කියා සිටියේය.

මේ අතර පසුගිය මාර්තු මාසයේ දී, කොරෝනාවෛරස් වසංගතය සම්බන්ධයෙන් තායිවානයේ ප්‍රතිචාරය පිළිබඳව සාකච්ඡා කරනු ලැබීම ලෝක සෞඛ්‍ය සංවිධානයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකු විසින් ප්‍රතික්ෂේප කරනු ලැබීම එම සංවිධානය අනිසි චීන බලපෑමකට ලක්ව ඇත යන චෝදනාව එල්ල වීමට හේතුවිය.

ලෝක සෞඛ්‍ය සංවිධානය මුව ආවරණ සම්බන්ධයෙන් දෙන උපදෙස් මහජනයා ව්‍යාකූල තත්ත්වයකට පත් කිරීමට හේතු වූ බව ඇතැම් සෞඛ්‍යය විශේෂඥයෝත් පවසති.

ලෝක සෞඛ්‍ය සංවිධානයට එරෙහිව නිතර නැගෙන තවත් චෝදනාවන් වන්නේ, දේශපාලන බලහත්කාරයට නතුවීම සහ ඉහවහා ගිය නිලධාරීවාදයයි.

2014-16 වකවානුවේ බටහිර අප්‍රිකාවේ ‘ඉබෝලා’ වසංගතය පැතිර යමින් තිබිය දී, ඊට ප්‍රතිචාරය දක්වමින් මහජන සෞඛ්‍යය සම්බන්ධයෙන් හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කිරීමට කොතරම් ප්‍රමාද වීද ? යන්න සම්බන්ධයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානය විශේෂයෙන් ම දෝෂ දර්ශනයට ලක්විය. ඊට ප්‍රතිචාරයක් වශයෙන් සංවිධානය තුළ ප්‍රතිසංස්කරණයක් පවා ප්‍රකාශයට පත් කිරීමට ලෝක සෞඛ්‍ය සංවිධානයට සිදු විය.

About EtheraTV2018

Check Also

දේශීය ඖෂධ යොදා නිෂ්පාදිත කසිප්පු ස්ප‍්‍රිතු වලට වැඩි ඉල්ලුමක් හොඳ මිලක්… කොත්තමල්ලි හා දේශීය ඖෂධ දමා කසිප්පු පෙරලා

දේශීය ඖෂධ යොදා නිෂ්පාදිත කසිප්පු ස්ප‍්‍රිතු වලට වැඩි ඉල්ලුමක් හොඳ මිලක්… කොත්තමල්ලි හා දේශීය ඖෂධ …

රනිල්ගේ ප‍්‍රධානත්වයෙන් පැවති රැස්වීමට රෝසි ඇවිත් නෑ… එජාපයේ ජයග‍්‍රහණයට කැපවීමට කොළඹ නගර සභා එජාප මන්තී‍්‍රහු තීරණය කරති

රනිල්ගේ ප‍්‍රධානත්වයෙන් පැවති රැස්වීමට රෝසි ඇවිත් නෑ… එජාපයේ ජයග‍්‍රහණයට කැපවීමට කොළඹ නගර සභා එජාප මන්තී‍්‍රහු …